නිවාඩුව





ලෞකික ජීවිතයක් ගත කරන බොහෝ දෙනෙක් ඉන්නෙ ලොකු විඩාවකින්. ඒකට හේතුව ඒ ජීවිතය තුළ ඔවුන් විසින් සිදුකළ යුතු ඉටුකම් රාශිය සහ ඔවුන් විසින් හදාගත්ත බන්ධන සමූහය  නඩත්තු කරමින් ජීවත් වීමට සිදුවෙන එක. මුලින්ම ඉගෙනගෙන විභාග පාස් වෙන්න ඕන, ඉන්ටර්වීව් ගිහින් රස්සවක් හොයාගන්න ඕන. ඉඩමක් කඩමක් අරගෙන ගෙයක් දොරක් හදාගන්න ඕන. සමාජය තුළ තමන්ගේ ප්‍රතිරූපයට හානි නොවෙන ආකාරයෙන් ජීවත් වෙන්න ඕන. විවාහයක් කරගෙන පවුල් ජීවිතයක් ගත කරන්න ආර්ථික පසුබිමක් හදාගන්න ඕන. විවාහ ජීවිතය තුළ එන ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න ඕන. දරුවන්ට උගන්වන ඔවුන්ව බලාගන්න ඕන. මහළු වියේදි අනාරාධිතව පැමිණෙන ලෙඩදුක් වලට මුහුණ දෙන්න ඕන. අන්තිමේදි මරණය භාරගන්න ඕන. ඔය තියෙන්නෙ සමාජ සම්මතයක් විදියට බහුතරයකගේ ජීවන ගමන් මග. ඔය ගමන් මඟ ඔයාකාරයෙන්ම නැවත ඉපදුන මොහොතේ පටන් යලි ක්‍රියාත්මක වෙනවා. 

නමුත් මේ සියළු දෙයක්ම නඩත්තු කරගෙන යාමේදී ඇතිවෙන්නෙ විඩාවක්. වෙන විකල්පයක් නැතිනිසා ඒකට මුහුණ දෙන්න සිද්ධවෙනවා වෙනවා. ජීවිතයට බැහැලා ඒක තුල හැප්පෙන්න සිද්ධවෙනවා. විඩාවක් දැනෙනකොට හැමෝම කරන්නේ විඩාව සමනය කරගන්න උත්සහ ගන්න එක. ඒකයි දවස් 5ක් වැඩ කරන්නත් දවස් දෙකක් නිවාඩු ගන්නත් කියලා ලෝක සම්මතයක් හැදිලා තියෙන්නෙ. සමහරු ඒ නිවාඩුව ගත කරන්න ට්‍රිප් යනවා, ඇවිදින්න යනවා, කන්න බොන්න යනවා. හැබැයි ඇත්තටම කරන්නෙ නිවාඩු ගැනීමක්ද නැත්නම් ආයේත් දවස් 5ක් වැඩ කරන්න අවශ්‍ය මානසික පසුබිම හදාගැනීමක්ද? බහුතරයක් කරන්නේ ආයේත් වැඩ කරන්න හිත හදාගන්න එක. ආයෙත් දවස් 5ක් ජීවිතේ එක්ක හැප්පෙන්න අවශ්‍ය ශක්තිය ලබාගන්න එක. මේ දුවන දිවිල්ල නතර වෙන්නේ මරණින් පස්සේ. 

මේ ආකාරයේ ජීවිතයක් ගෙවන පුද්ගලයෙක් ජීවිතයේ සදාකාලික විඩාව තේරුම් ගන්නවනම්, ඒ පුද්ගලයා අර දවස් දෙකේ නිවාඩුව සදහටම ගන්නවා. මේ දිවිල්ලෙන් අයින් වෙනවා. ලෝකෝත්තර සුවය සොයාගෙන යනවා. ඒකට තමන්ගේ ආධ්‍යාත්මය වර්ධනය කරගන්න උත්සහ ගන්නවා. නමුත් ඒ යථාර්තය තේරුම් ගන්නේ සුළු පිරිසක්. ඒ තේරුම් ගත් පිරිසෙනුත් ඒය ක්‍රියාවට නංවන්නේ ඉතාමත් සුළු පිරිසක්.

ඇත්තටම අපි වැකේෂන්  කියලා යන්නේ වැකේෂන් එකක්ද?

අහිමි වීම තුළින් ලැබෙන අවබෝධය






ගොඩාක් මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ ජීවිතය සාපෙක්ෂක තුළින් දකින්න. 90%ක් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ ජීවිතයට යම් යම් දේවල් එකතු කරගෙන, ගොඩගහගෙන, තමන් වටා පරිසරයක් හදාගෙන ඒක නඩත්තු කරගෙන ජීවත්වීමට. ඒ වපසරියට අයත් යම්කිසි දෙයක් අහිමි වුණාම ඒ පශ්වාත්තාපවීම නැති කරගන්න, ඒ අහිමි වුණු දේට සාපේක්ෂ දෙයක් ජීවිතයට ඒකතු කරගෙන ජීවත් වෙනවා.

කෙනෙක්ට පුළුවන්නම් තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගන්න, අන්න ඒ පුද්ගලයට පුළුවන් ජීවිතයට උරුම අහිමීවීම් තුළත් නොසෙල්වී ඉන්න. 

පුද්ගලයෙක් තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දුර්වල කරගන්නේ තමා වටේ තියෙන මේ බැඳීම් සමුදාය නිසා. ඒ බැඳීම් වල අස්ථිර භාවය තේරුම් නොගෙන, යම්දෙයක් අහිමි වූ විට තවත් ඒ හා සමාන සාපේක්ෂකයක් ජීවිතයට එකතු කරගන්නවා. එක බැඳීමක් කැඩෙනකොට ඒකට සාපේක්ශ වෙන බැඳීමක් හොයාගන්නවා. ඒ මඟින් අර මනසේ ඇති වුණ හිඩැස වහගන්න උත්සහ කරනවා. නමුත් ඒ හිඩැස තුළ තමන්ගේ ශක්තිය ගැබ්වෙලා තියන බව බොහෝ අය තේරුම් ගන්නෙ නෑ. සාපේක්ෂ මාරු කරමින් ජීවිතයේ ඇතිවන හිඩැස් වහගන්නවා.

අපිට අහිමිවන හැමදෙයක්ම අපේ ආධ්‍යාත්මික මනස ප්‍රබෝදමත් කරගැනීමට ආරම්භක ස්ථානයක් පෙන්වනවා. අපිට අහිමි වෙන හැමදෙයක්ම අපිට යමක් පෙන්වාදෙන්න උත්සහ කරනවා. නමුත් ඒක දකින්නේ කිහිප දෙනයි. බහුතරයක් කරන්නේ අහිමි වුදේට එවැනිම සාපේක්ෂකයක් හදාගෙන ජීවත් වීමක්. එවිට නැවතත් අනාගතයේ තවත් අහිමිවීමක් තිබෙන බව තේරුම් ගන්නේ නෑ. 


දනුක ප්‍රශාන්


නැමී නළලත තබා වඳිනෙමු




ජීවිත කාලය පුරා අප කොතෙකුත් ගමන් ගොස් ඇත්ද? විනෝද චාරිකා, විදේශ සංචාර. නමුත් ඒ සෑම ගමනකටම වඩා සිතට සහනයක් ගෙනෙන වඩාත් බැතිබර වූ සොඳුරු ඇත්දැකීම් ලබාගැනීමට අවස්ථාවක් අපහට ලැබී තිබෙනවා. ඒ තමයි සිරිපා කරුණාව.



බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේදීම බණ අසා සෝවාන් වූ ශ්‍රි සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවක් පිළිඅරගෙන උන්වහන්සේගේ තෙවන ලංකා ගමනේදී තම වම් ශ්‍රී පාදයේ පා සටහනක් සමනල කන්ද මුදුනේ පිහිටුවිය. 

එතැන් පටන් ඒ උතුම් සිරිපා පියුම මත නළල තබා වන්දනා කර ගැනීම සෑම බෞද්ධයකුගේම සිහිනයක් විය. අතීතයේ පටන් සිරිපා කරුණාවත් සමඟ බැඳුනු සම්ප‍්‍රදායානුකූල සිරිත් විරිත් වගේම එයටම අනන්‍ය වූ වචන කිහිපයක්ද තියනවා. සිරිපා කරුණාව, කෝඩු කාරයන්, නඩේ ගුරා, සැහැල්ලුව ඒ වචන අතරින් කිහිපයක්

මෙය හුදෙක් තවත් එක් විනොද චාරිකාවක් කර නොගෙන මේ ගැන හරි හැටි තේරුම් ගෙන සිත කය වචනය සංවර කරගෙන සිරිපා කරුණා කරොත් බොහෝ පින් රැස් කර ගන්නත් අවස්ථාව උදා වෙනවා.

මේ පළමු වරට සිරිපා කරුණා කරන්නට යන කෝඩුකාරයන් වන අපගේ සිරිපා කරුණාවේ මතක සටහන් කිහිපයක්.


දොළොස් මහේ පහන

 දොළොස් මහේ පහන


ඉර සේවය

ඉර සේවය

සීත ගඟුල

සීත ගඟුල








දනුක ප්‍රශාන්

වෙනත් ලිපි




දෛවය සහ Life එක

Image result for alone lion

දෛවය! සමහරු විශ්වාස කරන, සමහරු අවිශ්වාස කරන, සමහරු මිත්‍යාවක් ලෙස අර්ථදක්වන සංකල්පයක්. ජීවිතයේ අපට සිදුවන සමහර සිදුවීම් දෛවෝපගත සිදුවීම් කියල අපි කියනවා. හැමදේම සිද්ධ වෙන්නේ දෛවයට අනුව කියලා කියනවා. දෛවය කියලා දෙයක් නැහැ කියලත් සමහර අය කියන අතරේ තවත් අය කියනවා අපේ දෛවය ලියන්නේ අපිමයි කියලා.

ජීවිතයේ සිද්ධ වෙන සමහර සිදුවීම් දිහා බැලුවම දෛවය කියලා දෙයක් නැහැ කියන්නත් බැහැ.

දෛවය විසින් ඔබ ලවා යම් දෙයක් කරවන්න තියනවනම් ඒ දේවල් වලට ඔබව ඉබේම රැගෙන යනවා.සමහර අවස්ථාවල අපි මුකුත් නොකරම අපි නොහිතන තැන් වලට ජීවිතය අපව ගෙනියනවා. අපි විසින් කවදාකවත් යන්න බලාපොරොත්තු නොවූ මාවත් වල අපට ගමන් කරන්න වෙනවා.

අපි නොහිතන පුද්ගලයන් අප අතරින් වෙන්ව යනවා. අපි නොහිතන පුද්ගලයන් අපේ ජීවිත වලට ඇතුල්වෙනවා. යම් අවස්ථාවල එවන් පුද්ගලයින් අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.

අපි ගොඩාක් වෙලාවට කරන්නේ ජීවිතයේ සිද්ධවෙන මෙවන් අනපේක්ෂිත සිදුවීම් වලට ප්‍රතිචාර දැක්වීමක්. මේ දිහා බැලුවම ජීවිතය කියන්නේ පෙර සැලසුම් කරන ලද දෛවෝපගත  සිද්ධි සමුදායක් කියලා කියන්නත් පුළුවන්.

නමුත් ඒවට ප්‍රතිචාර දක්වන ආකාරය මුළුමනින්ම තීරණය කරන්නේ අපි. දෛවය සහ Life එක Balance කරගෙන ගෙනියන එක තියෙන්නේ අපේ අතේ.


නොඉඳුල් වූ සෙම්බුවත්ත



සංචාරකයින්ගේ ආකර්ෂණය නොඅඩුව ලැබෙන ඇල්කඩුව වැවිලි සමාගමට අයිති මාතලේ පිහිටි සෙම්බුවත්ත සංචාරක ඉසව්වට ගියපු ගමන් මතක් වෙන්නේ කසුන් කල්හාරගේ මීදුම් දුමාරයේ ගීතය. ඒකට හේතුව ඉතා පුළුල් වපසරියක වැවුණු කඳුකර තේ වතුයාය සහ ෆයිනස් කැලෑව. 

මීදුම් දුමාරයේ... 
සීත හැන්දෑ යාමේ.. 
සිහින ඇන්ද සානුවේ... 
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න.. 
කොළපාට හැළුණ ඈත නිම්නයේ..

දිනය: 
2019 මාර්තු 16

Activities:
Sightseeing, River Trekking, Photography, Hiking

Entry Ticket Price:
Rs. 200/- per head

Contact Numbers (Sembuwaththa) :
+94 66 4935 767 / +94 66 4935 768

Weather:
Cold 

Transport:
Private Car

ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක්ව පැවති කාලේ තමයි සෙම්බුවත්තේ මේ තේ වගාව අරම්භ කරලා තියෙන්නේ. ඒ දවස් වල නම් මේකේ තේ කර්මාන්තශාලවකුත් තිබිලා තියනවා. හැබැයි මීට වසර කිහිපයකට පෙර එය වසා දමලා කියලයි දැනගන්න ලැබුණේ. 


වැව් දිය පිස එන සීත සුළඟත් සමඟ අනන්තයටම ඇදී යන කඳුකර තේ වතු යාය මැදින් ඇවිද ගිහින් නිදහසේ සොබාදහම විඳින්න අවශ්‍ය කෙනෙක්ටනම් සෙම්බුවත්ත හොඳම ස්ථානයක්. 
























දනුක ප්‍රශාන්

වෙනත් ලිපි



ඇත්තටම ආතල් එකක් තියනවද?



අපි ජීවත් වෙනවා. හැබැයි අපි ජීවිතේ ගත කරන්නේ සතුටින්ද? අපි නිතරම දකින්නේ ටාගට් පස්සෙ, සල්ලි පස්සේ හැල්මේ දුවන, තරඟකාරිත්වයක් එක්ක ජීවත්වෙන මිනිස්සුන්ව. රටේ ආර්ථික තත්වේ බැලුවම එහෙම දුවන එකෙත් වරදක් නෑ. හැබැයි ඒ අය ඉන්නෙ සතුටින්ද? මහා ධන සම්භාරයක් තියන වතුපිටි ඉඩකඩම් තියන කෙනෙක්ව දැක්කම අපි හිතනවා මේ මිනිහනම් ආතල් එකේ ඉන්නවා කියලා. හැබැයි අපි දකින ආතල් එක ඇත්තටම එතන තියනවද? සතුට එහෙම නැත්නම් ආතල් එක නිර්වචනය කරන්න කිව්වොත් නානාප්‍රකාර විදියට එය අර්ථදක්වන්න පුළුවන්. සමහරු කියනවා සතුට කියන්නේ සාර්ථකත්වයේ අවසන් නැවතුම්පොළ කියලා. තව සමහරු කියනවා සල්ලි තියනවනම් එතන සතුට තියනවා කියලා. තවකෙනෙක් කියන්න පුලුවන් බලය තියනවනම් එතන සතුට තියනවා කියලා. එහෙමත් නැත්නම් ආදරය තියන තැන සතුට තියනවා කියන්න පුළුවන්. ඒත් ඇත්තටම සතුට තියෙන්නෙ කොහෙද?

එබ්‍රහම් ලින්කන් විටෙක කියා තිබෙනවා "සතුට තීරණය වෙන්නෙ ඔබේ ආකල්ප හා මානසිකත්වය මත" කියලා. ඒ කතාවේ ඇත්තක් තියනවා. සතුට කියන්නේ එක්තරා විදියක Mind Set එකක්. එය හුදෙක්ම තමා තුල සහ තමාගේ පාලනය යටතේ තියන දෙයක්. දුකේදිත් සතුටුවෙන මිනිස්සු ඉන්නෙ ඒකනේ.

අපි සතුව රැකියාව, මිල මුදල්, ආදරය, යහළුවන්, පවුල මේ හැමදෙයක්ම තියෙනකොට අපි සතුටින් ඉන්නවා. ඒත් මේ කිසිම දෙයක් නැතිකොට අපිට සතුටින් ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි සැබෑ සතුට. කිසිම ලෞකික දෙයක අවශ්‍යතාවයක් නැතුව සතුටින් ජීවත් වෙන්න පුළුවන්නම් එයට සමකරන්න කිසිම දෙයක් නෑ.  බුදුදහමේ වුනත් කියන්නේ මේ දේම තමයි. ලෞකික ජීවිතේට බැඳෙන්න බැඳෙන්න දුක වැඩියි. ඒවලින් ඈත් වෙන්න ඈත්වෙන්න හිතට දැනෙන නිදහස සහ සතුට වැඩියි. හැබැයි මේ දර්ශණය තේරුම් යනකොට පරක්කු වැඩියි.

ජීවිතේ වෙන අනපේක්ෂිත සිදුවීම් අපිට පාලනය කරන්න බැහැ ඒත් ඒවට ප්‍රතිචාර දක්වන විදිය අපිට පාලනය කරන්න පුළුවන්. ඒ හැම සිදුවීමකටම දෙන වටිනාකම අපිට පාලනය කරන්න පුළුවන්. අද තියනදේ හෙට නැතිවුණත් නැවගිලුනත් බෑන්චූන් වගේ ඉන්න පුළුවන්නම් එතන තමයි සැබෑ සතුට තියෙන්නෙ. හිතේ සතුට නැත්නම් අපිලඟ හතරමහා නිධානය තිබුණත් වැඩක් නෑ.

- දනුක ප්‍රශාන් - 

පහන්තුඩාව - ගං ඉවුරක ආශ්වාදය


හොර්ටන් තැන්නෙන් ආරම්භ වී සමනල වැව දක්වා මනරම් සුන්දරත්වයක් රැගෙන ගලා යන ආකර්ෂණීය බෙලිහුල් ඔයේ සංචාරය ගැනයි මේ කෙටි විස්තරය.

දිනය: 
2019 මාර්තු 02 - 03

නවාතැන් පහසුකම්: 
Citrine River Residence ✯ 9/10
Location >> Click Here

Activities:
Sightseeing, River Trekking, Photography & Waterfall Seeing

Weather:
Cold 

Transport & Route:
Private Car
ජා ඇල > කඩුවෙල > අවිස්සාවේල්ල > රත්නපුර > පැල්මඩුල්ල > බලංගොඩ > බෙලිහුල් ඔය


මේ දවස් වල තියෙන අව් රශ්මිය නිසා ටිකක් සීතල වෙලා එන්න කියලා අපිගියා බෙලිහුල් ඔය පැත්තට. බෙලිහුල් ඔය ගැන නම් කට්ටියම දන්නවානේ. ඒ නිසා මේ කියන්න යන්නේ බෙලිහුල් ඔයේම තිබෙන පහන්තුඩාව ඇල්ල ගැන පොඩි විස්තරයක්. නෙත් වශී කරන දර්ශණයන් එක්ක සීතල වූ ජල ධාරාවක් රැගෙන ගලා යන බෙලිහුල් ඔය දිගේ තරමක් දුරට යනකොට අහස උසට උස් වූ අති විශාල ගිරිශිඛර දෙකක් මැදින් ගලා යන පහන්තුඩාව ඇල්ල දැකගන්න පුළුවන්. මේ ඇල්ල පහනක හැඩයකට පිහිටලා තියන නිසා පහන්තුඩාව කියලා නම් කරලා තියනව කියලයි කියන්නේ. අපිට Drone Shot එකක් ගන්න බැරි නිසා මේකේ නියම හැඩය ඡායාරූපයකට ගන්න බැරිවුණා.




 අපි නවාතැන් ගත්ත හෝටලෙන් අපිට කිව්ව විස්තර අනුව මේක පෙනුමෙන් ඉතාමත් ලස්සන වුණාට ටිකක් භයානක තැනක්. මොකද මෙතන අඩි 20ක් 30ක් විතර ගැඹුරක් තියනවාලු . හොඳටම swimming පුළුවන් කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්නම් මෙතැන නාන එකනම් අවදානම්. මොකද pool එකක් වගේ පෙනුනට මේක පතුලේ දියසුළි තියනවා කියලා කිව්වේ.


එදා වැසි දවසක් නොවෙන නිසා ඔයේ වතුර පහර ඒතරම් සැර ගතියක් පෙන්නුවේ නැහැ. ඒත් මෙතැන ටිකක් විතර භයානක තැනක්. ඒකට හේතුව බෙලිහුල් ඔයේ වතුර ක්ෂණිකව වැඩි වෙන නිසා. මෙතැන නාන්නට සුදුසු තැන් කිහිපයක් තියනවා. ඒ ඇරෙන්න වෙන තැන් වලින් නාන එකනම් ටිකක් අවදානම්. මෙතැන මීට මාසයකට කලින් තරුණයින් 3දෙනෙක් එකවර ගිලී මියගොස් තිබෙනවා. 



ලංකාවේ මේතරම් ලස්සන සුන්දර තැන් තියනවද කියලත් හිතෙනවා මේ වගේ තැන් දකිනකොට. මේ සුන්දරත්වය රැකගැනීම අපෙත් වගකීමක්. මෙවැනි තැන් නරඹන්න ආවම ඒ තැන් අපිරිසිදු කරලා යන්න නම් එපා. සොබාදහම අපට දීලා තියන දේ අපි රැකගන්න ඕන.





Day Out  එකකට හරි One Night හරි එකක් එනවනම් බෙලිහුල් ඔය එයට කියාපුම තැනක්. අපි නවාතැන් ගත් Citrine River Residencies හි සේවාව නම් ඉතාම හොඳයි. රසවත් ආහාර වගේම පිරිසිදු කාමර පහසුකම සහ වටපිටාවේ තිබෙන සුන්දරත්වය අපේ චාරිකාව ඉතාමත් සතුටුදායක එකක් වෙන්න බෙහෙවින් බලපෑවා. බෙලිහුල් ඔය යනවනම් නවතින්න හොඳම තැනක් තමයි Citrine River Residencies.










දනුක ප්‍රශාන්

වෙනත් ලිපි