Showing posts with label සන්තානය. Show all posts
Showing posts with label සන්තානය. Show all posts

ඇත්තටම ආතල් එකක් තියනවද?



අපි ජීවත් වෙනවා. හැබැයි අපි ජීවිතේ ගත කරන්නේ සතුටින්ද? අපි නිතරම දකින්නේ ටාගට් පස්සෙ, සල්ලි පස්සේ හැල්මේ දුවන, තරඟකාරිත්වයක් එක්ක ජීවත්වෙන මිනිස්සුන්ව. රටේ ආර්ථික තත්වේ බැලුවම එහෙම දුවන එකෙත් වරදක් නෑ. හැබැයි ඒ අය ඉන්නෙ සතුටින්ද? මහා ධන සම්භාරයක් තියන වතුපිටි ඉඩකඩම් තියන කෙනෙක්ව දැක්කම අපි හිතනවා මේ මිනිහනම් ආතල් එකේ ඉන්නවා කියලා. හැබැයි අපි දකින ආතල් එක ඇත්තටම එතන තියනවද? සතුට එහෙම නැත්නම් ආතල් එක නිර්වචනය කරන්න කිව්වොත් නානාප්‍රකාර විදියට එය අර්ථදක්වන්න පුළුවන්. සමහරු කියනවා සතුට කියන්නේ සාර්ථකත්වයේ අවසන් නැවතුම්පොළ කියලා. තව සමහරු කියනවා සල්ලි තියනවනම් එතන සතුට තියනවා කියලා. තවකෙනෙක් කියන්න පුලුවන් බලය තියනවනම් එතන සතුට තියනවා කියලා. එහෙමත් නැත්නම් ආදරය තියන තැන සතුට තියනවා කියන්න පුළුවන්. ඒත් ඇත්තටම සතුට තියෙන්නෙ කොහෙද?

එබ්‍රහම් ලින්කන් විටෙක කියා තිබෙනවා "සතුට තීරණය වෙන්නෙ ඔබේ ආකල්ප හා මානසිකත්වය මත" කියලා. ඒ කතාවේ ඇත්තක් තියනවා. සතුට කියන්නේ එක්තරා විදියක Mind Set එකක්. එය හුදෙක්ම තමා තුල සහ තමාගේ පාලනය යටතේ තියන දෙයක්. දුකේදිත් සතුටුවෙන මිනිස්සු ඉන්නෙ ඒකනේ.

අපි සතුව රැකියාව, මිල මුදල්, ආදරය, යහළුවන්, පවුල මේ හැමදෙයක්ම තියෙනකොට අපි සතුටින් ඉන්නවා. ඒත් මේ කිසිම දෙයක් නැතිකොට අපිට සතුටින් ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි සැබෑ සතුට. කිසිම ලෞකික දෙයක අවශ්‍යතාවයක් නැතුව සතුටින් ජීවත් වෙන්න පුළුවන්නම් එයට සමකරන්න කිසිම දෙයක් නෑ.  බුදුදහමේ වුනත් කියන්නේ මේ දේම තමයි. ලෞකික ජීවිතේට බැඳෙන්න බැඳෙන්න දුක වැඩියි. ඒවලින් ඈත් වෙන්න ඈත්වෙන්න හිතට දැනෙන නිදහස සහ සතුට වැඩියි. හැබැයි මේ දර්ශණය තේරුම් යනකොට පරක්කු වැඩියි.

ජීවිතේ වෙන අනපේක්ෂිත සිදුවීම් අපිට පාලනය කරන්න බැහැ ඒත් ඒවට ප්‍රතිචාර දක්වන විදිය අපිට පාලනය කරන්න පුළුවන්. ඒ හැම සිදුවීමකටම දෙන වටිනාකම අපිට පාලනය කරන්න පුළුවන්. අද තියනදේ හෙට නැතිවුණත් නැවගිලුනත් බෑන්චූන් වගේ ඉන්න පුළුවන්නම් එතන තමයි සැබෑ සතුට තියෙන්නෙ. හිතේ සතුට නැත්නම් අපිලඟ හතරමහා නිධානය තිබුණත් වැඩක් නෑ.

- දනුක ප්‍රශාන් - 

රහත් හිමිවරුන් - බුදුදහමේ යථාර්තය සංගීතමය ස්වරූපයෙන්

Click Here to Watch 

බුදුදහමින් අපට උගන්වන්නේ ලෝකයේ යථාර්තයයි, එනම් සත්‍ය වශයෙන් පවතින ස්වභාවයයි. මේ යථාර්තය දැකිය හැක්කේ තමාටම පමණයි. බුදුදහමේ දැක්වෙන ප්‍රතිපදාව ඒ යථාර්තය අවබෝධ කර ගැනීමේ මාර්ගයයි. 

නමුත් බුදුන්ගේ මේ දර්ශණය ආගමක් බවට පරිවර්තනය කර එයට නානාප්‍රකාර අර්ථකථන ලබාදී වෙනස්ම ආකාරයකින් සමාජගත වී තිබේ. මේ ගීතයෙන් යම්තාක් දුරකට පිළිඹිබු වෙන්නේ අන්න ඒ ෆැන්ටසි බුද්ධාගම හා රියැලිටි බුදුදහම අතර තිබෙන සංකල්පමය වෙනසයි. 

"සැප රථෙන් ඇවිත්.. අතහැරීම ගැන
දෙසුවෙ බණ අපෙ සාදු නිවං දුර නිසාද?
මම ලෙඩ ඇදේ ... මරණෙ ඉන්නෙ ගන්න බලං
අම්ම අඩන්නෙ ඇයි මේ පිලිමෙට වැදං 
අඹපු රෑපෙට දැනේද අම්මගෙ හිතේ දුක"

"හිතෙ කහටක් නැත්තං කාටවත් ගිනි දෙන් නැත්තං
ඉන්නකං හොදින්නං ඇයි මං යන්නේ පන්සල් ගන්න සිල්,
ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙමද?

මේ මනසින් ගැලවෙන්න ... මනසින් හිතන්නයි ඕන"

මෙවැනි වදන් කනවැටෙන විට බුද්ධාගම අදහන පුද්ගලයින්ට නම් මෙය හුදෙක් එක් මිසදෙටුවෙකුගේ ක්‍රියාකාරකමක් ලෙස පෙනෙන්නට පුළුවන් නමුත් බුදුදහම පිළිපදින පුද්ගලයින්ට නම්, සප්ත ස්වරය යොදාගෙන නිමැවූ මෙය ඉතා උසස් ගණයේ නිර්මාණයකි.

Rap Style එකට කුණුහරුප දාගෙන Rap කරන සමහරක් සිටින වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ "චරිත අත්තලගේ, චන්ද්‍රසේන තලංගම, ධ්‍යාන් හේවගේ, Ravi Jay ගත්ත මේ උත්සහය අගය නොකර බැරිතරම්.

ගායනය : ධ්‍යාන් හේවගේරවී ජේ
පද රචනය : චන්ද්‍රසේන තලංගම
සංගීතය : චරිත අත්තලගේ
ග්‍රැෆික් : Randy Chriz Perera

දනුක ප්‍රශාන්


වෙනත් ලිපි

සමාජ සම්මතයද? තමන්ගේ ජීවිතයද?


සමාජ සම්මතයද? තමන්ගේ ජීවිතයද?

Tattoo ගහගෙන රස්තියාදුකාරයෙක් වගේ වෙන්න එපා. මිනිස්සු මොනා නොකියයිද? දැන් කාලේ හරි නේද, නරකද කසාදයක් එහෙම කරගත්තොත්? බඳින්නැතුව හිටියොත් මිනිස්සු වැරදියට හිතයි. දැන් බැඳලා සෑහෙන කල් නේද, දරුවෙක් ගැන එහෙම අදහසක් නැද්ද? ඔයා යාළුවො එක්ක Club යන එක නවත්තන්න ඕන, කවුද ඔහොම කෙල්ලන්ව කසාද බඳින්නේ? මේ වගේ අනන්තවත් ප්‍රශ්න තියෙන්නෙ අපිට නෙමේ අපේ වටේ ඉන්න අයට. මේ අහන හැම ප්‍රශ්නෙකටම අපි උත්තර දෙන්න ඕනෙද? මේවා ගැන හිත හිත වද වෙන්න ඕනෙද? අපේ දෙමව්පියන් නම් ගොඩක් වෙලාවට තීරණ ගන්නේ මෙන්න මේවගේ සමාජය කියන දේවල් ගැන හිතලා. අපිත් ඉතින් දෙමව්පියන්ගේ සතුට වෙනුවෙන් එයාලා කැමති දේ කරනවා. හැබැයි ඒවගේ ගන්න සමහර තීරණ නිසා ජීවිතයම අවුල් කරගන්න වෙලාවලුත් තියනවා.

අපේ ජීවිතේ සතුට තියෙන්නෙ අපේ අතේ. ජීවිතය ගැන සමාජය ගැන විවෘත මනසකින් බලන කෙනෙක්ට නම්  සමාජය මොනව හිතුවත් වැඩක් නෑ. අපි ගොඩාක් වෙලාවට අපේ මනස අවුල් කරගන්නෙ මෙන්න මේ සමාජයීය ප්‍රශ්න වලට මුහුණ දෙන්න තරම් පෞරුශයක් අපි ලඟ නැති නිසා. පෞරුශය කිව්වහම Gym ගිහිල්ලා හදාගන්න භෞතික පෞරුශය විතරක් නෙමේ තමන්ගේ බුද්ධියෙන් ගොඩනඟාගන්න මානසික පෞරුශයත් අදාළයි. ඒ මානසික පෞරුශය ගොඩනඟා ගැනීම තුළින් ජීවිතයට එන ගොඩාක් ප්‍රශ්ණ වලට සාර්ථකව මුහුණ දෙන්න හැකියාවක් ලැබෙනවා.

අපි ඉස්සෙල්ලම බලන්න ඕන අපි ජීවත් වෙන්නෙ අපි වෙනුවෙන්ද නැත්නම් සමාජය වෙනුවෙන්ද කියලා. සමාජය කියන කියන දේ කරන්න ගියොත් වෙන්නෙ තමන්ගේ සතුට නැතිවෙන එක විතරයි. සමාජය අපි ගැන මොනවා හිතුවත් අපි කරන්න ඕන අපිට සහ අපේ අනාගතයට හොඳයි කියලා හිතෙන දෙයයි.  තීරණයක් ගන්න කලින් අපිත් සමහර අවස්ථාවල කිහිපදෙනෙක්ගෙන් ඒ ගැන උපදෙස් ගන්න යනවා. නමුත් ඔවුන් ඒ උපදෙස් දෙන්නෙ ඔවුන් ජීවිතය දකින මිම්මෙන් මිසක් අපිට ගැලපෙන අපේ මිම්මකින් නෙමෙයි. අපි ජීවත් වෙන්නෙ එකිනෙකා සමඟ වුවත් අපට ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙන්නේ වෙන වෙනම. ඒ නිසා නිවැරිදි තීරණ අපිට සාදාරන විදිහට ගැනීම වැදගත් වෙනවා.  එවැනි තීරණ ගන්නා විට සියල්ලන්ම සතුටු කරන්න බැරිවෙයි හැබැයි අපි ඉන්නෙ ඒ සියල්ලන්ව සතුටු කරන්නත් නෙමෙයි. සමාජ සම්මතයට පිට යමක් කරන්න ගියොත් ඒකට සියල්ලන්ගෙම සහය ලැබෙන එකක්නම් නෑ. ඒත් එක් අයෙකුගේ හෝ සහය ඔබට ලැබෙයි. ඔබ ගත් තීරණයේ නිවැරිදි බව තේරුම් ගිය පසු සියල්ලන්ගෙම සහය ඔබට ලැබෙයි. එවන් තීරණ ගැනීමට තරම් ශක්තිමත් මානසික පෞරුශයක් අප තුළ තිබිය යුතුයි.

- දනුක ප්‍රශාන් -


නිදන්ගත වූ හීනයක පිබිදීම


වැස්ස ගැන නිර්වචනයක් දෙන්න කිව්වොත් එක එක අය විවිධාකාර නිර්වචන දෙයි. සමහර අයට ඒක ආශිර්වාදයක්. විශේෂයෙන්ම පෙම්වතුන්ට. තවත් අයට වැස්ස කියන්නේ මල කරදරයක්. කවුරු කොහොම කිව්වත් හැමෝගෙම හිත්වල වැස්ස ගැන පොඩි හරි කැමැත්තක් තියනවාමයි.

එදා වෙලාව හවස 6.45ට විතර ඇති. වැසි දවසක්. වැඩ ඉවර වෙලා ගෙදර යනවා වෙනුවට එදා මම ගියා Public Library එක ලඟට. බස් එකේ එනකම්ම අහසේ මට දකින්න තිබුණේ කළු වලාකුළු විතරයි. වලාකුළු වල ගිගුරුම් හඬ handsfree එකෙන් ඇහෙන සින්දුවත් පසාරු කරගෙන මගේ කනට ඇහෙන තරමට ප්‍රබලයි. Library එක ලඟට එනකම් වැස්සේ නැති එකේ අද වහින එකක් නෑ කියලයි මට හිතුනේ. ඒත් හරියටම මම බහිනවත් එක්කම වැස්ස වටෙන්න පටන් ගත්තා.

ඒ වෙලාවේ එතැනින් බැස්සේ මම විතරයි. ඒ අවටත් කවුරුත්ම හිටියේ නෑ. මම එහෙම්මම holt එක යටට ගිහින්, සීට් එකක වාඩිවුණා. වටපිටාව හරිම නිස්කලංකයි කවුරුවත්ම නෑ. තාලෙට ඇදහැලෙන වැස්සට හේදී ඔපවත් වුණ කාපට් පාරේ, විදුලි පහන් එළි පරාවර්තනය වෙනවා, වැසි දියෙන් තෙමී නැවුම් පෙනුමක් ලබාගත් ගස්කොලං එහාට මෙහාට කැරකෙනවා. සීතලෙන් සීත වුණු සීත සමය වගේ සීත සුළං හමනවා. මගේ ප්‍රියතම ගීතයක් handsfree එකෙන් ඇහෙනවත් එක්කම මම දැකපු දේත් එක්ක මට හිතුනේ මම ඉන්නේ hindi film location එකක කියලා. 

වැස්ස නිසා වෙනස් වෙන්නේ බාහිර වටපිටාව විතරද? වැස්සෙන් පිබිදෙන්නේ නිදාගත් තුරුලතා විතරද? නෑ... වැස්සෙන් අපේ සිත් පතුලේ හැංගිලා තියෙන ආදරණීය මතකයන්, කඳුලු, සිනහා, දුක්සුසුම් මේ හැමදෙයක්ම මතුපිටට එනවා.වැස්සේ තියෙන්නෙ අමුතුම රිද්මයක්. ඒක හරියටම අපේ හදවතේ රිද්මයට සමානයි. එක දිගට සීරුවට ඇදහැලෙන වැස්සේ නාදයත් සමඟ ඒකාත්මික වෙලා ටික වෙලාවක් අහන් හිටියොත් ඔයාට හැඟෙයි ඔයාගේ හදවතේ ගැඹුරුම තැනෙහි තියෙන මතකයන් අවදි වෙනවා කියලා. එදා ඒ මොහොතේ ඒ තිබුණු පරිසරය, ඇහුණු සංගීතය දැනුණු සිසිලස එක්ක මට ඒවගේ  හැඟීමක් ඇතිවුනා.

මම අවුරුදු ගාණක් සිතේ ගැඹුරුම තැනේ නිදන් කරලා තිබුණු හීනයක් ඒදා ඒ මොහොතේ මතුපිටට ආවේ මගේ දෑසට පුංචි කඳුලක්ද එක් කරමින්. ජීවිතයේ කිසිම දිනක කිසිම දෙයක් ගන ඕනෑවට වැඩිය බලාපොරොත්තු තියානොගත් මම ඒ හීනය ගැන ඕනෑවටත් වඩා බලපොරොත්තු තියාගත්ත නිසාම දෛවය විසින් ඒ හීනය මට අහිමි කළා කියලත් හිතුණ වාර අනන්තයි. ඉහිරුණ කිරට නාඬන් බළලෝ කිව්වා වගේ ගෙවුණු අතීතය ගැන හිතලා වැඩක් නෑ. වැස්සට, රාත්‍රියට, පුස්තකාලට වෛර කරන තත්වයට මාව පත්කරපු ඒ හීනය මට ආයිත් දකින්න ඕනත් නැ.

කියන්න ඕනවුන එකම දේ ස්වභාවධර්මයත් හරිම අමුතු දෙයක්. අපේ ජීවිත වලට ඒ මඟින් තිබෙන බලපෑම, ඒ මඟින් අපේ ජීවිත වෙනස් වෙන විදිය ගැන මොහොතක් හිතන්න. ස්වභාවධර්මය මඟින් අපේ ජීවිතයට ගතහැකි දේ බොහෝමයි.

~ දනුක ප්‍රශාන් ~

ඉඩෝරයට මල් වැස්සක්

මේ ජීවිතයේ කොහේ හරි තැනක ප්‍රශ්ණයක් තියෙනවා කියලා හිතුන වාර ගණන අනන්තයි. ඒත් ඒ ප්‍රශ්ණේ මොකක්ද කියල හොයන්න තරම් ඕනකමක් මට අද වෙනකම් ආවෙ නෑ. මොකක් හරි වෙනසක් වෙන්න ඕනෙ කියල හිතුන වාර ගණන අනන්තයි. ඒත් ඒ වෙනස කොහොම කරන්නද කියල හිතන්න තරම් ඕනකමක් මට අද වෙනකම් ආවෙ නෑ.

තත්පරෙන් තත්පරේ දවසින් දවස කාලය ගෙවිලා යනවා. ජීවිතයේ නොයෙකුත් හැරවුම් ලක්ෂ එනවා. කවමදාකවත් නොයන්න හිතපු මාර්ගයක ජීවිතය දැන් ගමන් කරනවා. ගෙවී ගිය කාලය ආපස්සට අරන් අතීතයට යන්න ඇත්නම් කියලා හිත කියන විටම  ඒදේ කරන්න බෑ කියලත් හිත කියනවා. එහෙනම් ඇයි හිත ඒවගේ දෙයක් ඉල්ලන්නේ?

පිළිතුර නොදත් ප්‍රශ්ණයක් තියනවා කියලා හිත කියනවා. සමහරවිට පිළිතුරක් ඇති කියලත් හිත කියනවා. ඒත් මේ ඒ පිළිතුර හොයන්න කාලය නෙමෙයි. මේ ජීවිතය වෙනස් විය යුතු කාලයයි. ඒ වෙනස කවදා කොතැන කොහොම පටන් ගන්නද කියලා අදම මෙතැන් සිට හිතන්න වෙනවා.

ඉඩෝරයට වැස්සක් එයි කියන බලාපොරොත්තුව හැමෝගෙම හිත්වල තිබුණා වගේ බලාපොරොත්තුවක් මගේ හිතෙත් තිබුණා. ඒත් වැස්සක් තියා වැහි බිඳක්වත් නැතිව එක දිගටම පායද්දි, ඒ බලාපොරොත්තුව ටිකෙන් ටික අඩුවෙන්න පටන් ගත්තා. 


සිතිවිලි චිත්ත රූප බවට පරිවර්තනය කර බලන  පුරුද්ද මගේ උප්පත්ති ගතියක්ද කියලත් හිතෙනවා.  හුදකලාවී සිටින්නට ආස කරන පුරුද්දත් මගේ උප්පත්ති ගතියක්ද කියලත් හිතෙනවා. හීන දකින එක ලේසි වුනත්  අවිනිශ්චිත අනාගතයක් එක්ක හැප්පෙන එක ලේසි දෙයක් නෙමේ. හුදකලාවී ඉන්නට කැමති වුණත් තනියම හැමදේම කරගන්න එකත් ලේසි දෙයක් නෙමේ.

දකින්න තියන එකම දේ, හිතන්න තියන එකම දේ, සැලසුම් කරන්න තියන එකම දේ අනාගතයයි. ජීවිතය වෙනස් විය යුතුයි. අද මෙතැන් සිට.
~ දනුක ප්‍රශාන් ~

ජීවිතයට ඉඩදෙන්න


නිල්ල නිලන මිටියාවතක, මේ අහස යට ඉඳගෙන බිඟු නදට සවන් දෙන්න, දේදුන්නක ලස්සන බලන්න, මල් සුවඳ විඳගන්න තිබුණා නම්...

ජීවිතය මිහිපිට
දෙව්ලොවක් කියල අපි හැමෝටම හිතෙයි.

ගිනි ගහන මද්දහනේ දාඩිය මුගුරු හෙළමින් වෙහෙසෙන කොට, සීත කාමරයක පරිගණකයට දෑස යොමු කරගෙන ලිපිගොනු අතර දවසම දියවෙලා යනකොට, දුරකථනය නොනවත්වාම නාද වෙනකොට, ජීවිතය කොතරම් පීඩාකරී ද? ඒකාකාරීද කියලා හිතිල තියනවා නේද?

ජීවිතය...අකුරු හතර ඇතුළෙ ඇත්ත ලොකුම ලොකු අර්ථයක්.

වරක් පැරදුනොත් දිනන්න තවත් අවස්ථා සියයක්ම අපට දෙනව. වරක් හැඬුවොත් සිනාපොකුරු අරගෙන ආයෙත් ඇවිත් කඳුලු පිස දමනවා.

විඳින්න දුන්න ජීවිතය අරගෙන විඳෙව්වත් අපට ගොඩක් දේවල් ලබා දීල තියෙනවා.

කිරිදරුවෙකුගේ හසරැල්ලක් දැක ජීවිතය විඳින්න, වැටෙන හිරිපොදකින් ජීවිතය දෝවනය කරන්න, උදා හිරු කිරණින් ජීවිතය නහවන්න, කෙනෙකුගේ සතුට දෙස බලා සැනසෙන්න.

දෑසට හසුවන දිවට රස ගෙනෙන, සවනට ඇසෙන සියලු මාධුර්යයන්ගෙන් ජීවිතය විඳින්න..

ඔව් මේ දැන් සිටම කඳුළකට ඉඩ නොදෙන්න.
ජීවිතයට ඉඩ දෙන්න...!

ගුරුෂිකා ඩයනා
අධ්‍යයන විද්‍යාපීඨය