හුදකලා වූ සන්තානය

යථාර්තය සොයා යන මගේ ලෝකයෙන්

නිදන්ගත වූ හීනයක පිබිදීම


වැස්ස ගැන නිර්වචනයක් දෙන්න කිව්වොත් එක එක අය විවිධාකාර නිර්වචන දෙයි. සමහර අයට ඒක ආශිර්වාදයක්. විශේෂයෙන්ම පෙම්වතුන්ට. තවත් අයට වැස්ස කියන්නේ මල කරදරයක්. කවුරු කොහොම කිව්වත් හැමෝගෙම හිත්වල වැස්ස ගැන පොඩි හරි කැමැත්තක් තියනවාමයි.

එදා වෙලාව හවස 6.45ට විතර ඇති. වැසි දවසක්. වැඩ ඉවර වෙලා ගෙදර යනවා වෙනුවට එදා මම ගියා Public Library එක ලඟට. බස් එකේ එනකම්ම අහසේ මට දකින්න තිබුණේ කළු වලාකුළු විතරයි. වලාකුළු වල ගිගුරුම් හඬ handsfree එකෙන් ඇහෙන සින්දුවත් පසාරු කරගෙන මගේ කනට ඇහෙන තරමට ප්‍රබලයි. Library එක ලඟට එනකම් වැස්සේ නැති එකේ අද වහින එකක් නෑ කියලයි මට හිතුනේ. ඒත් හරියටම මම බහිනවත් එක්කම වැස්ස වටෙන්න පටන් ගත්තා.

ඒ වෙලාවේ එතැනින් බැස්සේ මම විතරයි. ඒ අවටත් කවුරුත්ම හිටියේ නෑ. මම එහෙම්මම holt එක යටට ගිහින්, සීට් එකක වාඩිවුණා. වටපිටාව හරිම නිස්කලංකයි කවුරුවත්ම නෑ. තාලෙට ඇදහැලෙන වැස්සට හේදී ඔපවත් වුණ කාපට් පාරේ, විදුලි පහන් එළි පරාවර්තනය වෙනවා, වැසි දියෙන් තෙමී නැවුම් පෙනුමක් ලබාගත් ගස්කොලං එහාට මෙහාට කැරකෙනවා. සීතලෙන් සීත වුණු සීත සමය වගේ සීත සුළං හමනවා. මගේ ප්‍රියතම ගීතයක් handsfree එකෙන් ඇහෙනවත් එක්කම මම දැකපු දේත් එක්ක මට හිතුනේ මම ඉන්නේ hindi film location එකක කියලා. 

වැස්ස නිසා වෙනස් වෙන්නේ බාහිර වටපිටාව විතරද? වැස්සෙන් පිබිදෙන්නේ නිදාගත් තුරුලතා විතරද? නෑ... වැස්සෙන් අපේ සිත් පතුලේ හැංගිලා තියෙන ආදරණීය මතකයන්, කඳුලු, සිනහා, දුක්සුසුම් මේ හැමදෙයක්ම මතුපිටට එනවා.වැස්සේ තියෙන්නෙ අමුතුම රිද්මයක්. ඒක හරියටම අපේ හදවතේ රිද්මයට සමානයි. එක දිගට සීරුවට ඇදහැලෙන වැස්සේ නාදයත් සමඟ ඒකාත්මික වෙලා ටික වෙලාවක් අහන් හිටියොත් ඔයාට හැඟෙයි ඔයාගේ හදවතේ ගැඹුරුම තැනෙහි තියෙන මතකයන් අවදි වෙනවා කියලා. එදා ඒ මොහොතේ ඒ තිබුණු පරිසරය, ඇහුණු සංගීතය දැනුණු සිසිලස එක්ක මට ඒවගේ  හැඟීමක් ඇතිවුනා.

මම අවුරුදු ගාණක් සිතේ ගැඹුරුම තැනේ නිදන් කරලා තිබුණු හීනයක් ඒදා ඒ මොහොතේ මතුපිටට ආවේ මගේ දෑසට පුංචි කඳුලක්ද එක් කරමින්. ජීවිතයේ කිසිම දිනක කිසිම දෙයක් ගන ඕනෑවට වැඩිය බලාපොරොත්තු තියානොගත් මම ඒ හීනය ගැන ඕනෑවටත් වඩා බලපොරොත්තු තියාගත්ත නිසාම දෛවය විසින් ඒ හීනය මට අහිමි කළා කියලත් හිතුණ වාර අනන්තයි. ඉහිරුණ කිරට නාඬන් බළලෝ කිව්වා වගේ ගෙවුණු අතීතය ගැන හිතලා වැඩක් නෑ. වැස්සට, රාත්‍රියට, පුස්තකාලට වෛර කරන තත්වයට මාව පත්කරපු ඒ හීනය මට ආයිත් දකින්න ඕනත් නැ.

කියන්න ඕනවුන එකම දේ ස්වභාවධර්මයත් හරිම අමුතු දෙයක්. අපේ ජීවිත වලට ඒ මඟින් තිබෙන බලපෑම, ඒ මඟින් අපේ ජීවිත වෙනස් වෙන විදිය ගැන මොහොතක් හිතන්න. ස්වභාවධර්මය මඟින් අපේ ජීවිතයට ගතහැකි දේ බොහෝමයි.

~ දනුක ප්‍රශාන් ~

0 කියන කතා:

ප්‍රේක්ෂකයන්