තත්පරෙන් තත්පරේ දවසින් දවස කාලය ගෙවිලා යනවා. ජීවිතයේ නොයෙකුත් හැරවුම් ලක්ෂ එනවා. කවමදාකවත් නොයන්න හිතපු මාර්ගයක ජීවිතය දැන් ගමන් කරනවා. ගෙවී ගිය කාලය ආපස්සට අරන් අතීතයට යන්න ඇත්නම් කියලා හිත කියන විටම ඒදේ කරන්න බෑ කියලත් හිත කියනවා. එහෙනම් ඇයි හිත ඒවගේ දෙයක් ඉල්ලන්නේ?
පිළිතුර නොදත් ප්‍රශ්ණයක් තියනවා කියලා හිත කියනවා. සමහරවිට පිළිතුරක් ඇති කියලත් හිත කියනවා. ඒත් මේ ඒ පිළිතුර හොයන්න කාලය නෙමෙයි. මේ ජීවිතය වෙනස් විය යුතු කාලයයි. ඒ වෙනස කවදා කොතැන කොහොම පටන් ගන්නද කියලා අදම මෙතැන් සිට හිතන්න වෙනවා.
ඉඩෝරයට වැස්සක් එයි කියන බලාපොරොත්තුව හැමෝගෙම හිත්වල තිබුණා වගේ බලාපොරොත්තුවක් මගේ හිතෙත් තිබුණා. ඒත් වැස්සක් තියා වැහි බිඳක්වත් නැතිව එක දිගටම පායද්දි, ඒ බලාපොරොත්තුව ටිකෙන් ටික අඩුවෙන්න පටන් ගත්තා.
සිතිවිලි චිත්ත රූප බවට පරිවර්තනය කර බලන පුරුද්ද මගේ උප්පත්ති ගතියක්ද කියලත් හිතෙනවා. හුදකලාවී සිටින්නට ආස කරන පුරුද්දත් මගේ උප්පත්ති ගතියක්ද කියලත් හිතෙනවා. හීන දකින එක ලේසි වුනත් අවිනිශ්චිත අනාගතයක් එක්ක හැප්පෙන එක ලේසි දෙයක් නෙමේ. හුදකලාවී ඉන්නට කැමති වුණත් තනියම හැමදේම කරගන්න එකත් ලේසි දෙයක් නෙමේ.
දකින්න තියන එකම දේ, හිතන්න තියන එකම දේ, සැලසුම් කරන්න තියන එකම දේ අනාගතයයි. ජීවිතය වෙනස් විය යුතුයි. අද මෙතැන් සිට.
