ඇත්තටම ආතල් එකක් තියනවද?




අපි ජීවත් වෙනවා. හැබැයි අපි ජීවිතේ ගත කරන්නේ සතුටින්ද? අපි නිතරම දකින්නේ ටාගට් පස්සෙ, සල්ලි පස්සේ හැල්මේ දුවන, තරඟකාරිත්වයක් එක්ක ජීවත්වෙන මිනිස්සුන්ව. රටේ ආර්ථික තත්වේ බැලුවම එහෙම දුවන එකෙත් වරදක් නෑ. හැබැයි ඒ අය ඉන්නෙ සතුටින්ද? මහා ධන සම්භාරයක් තියන වතුපිටි ඉඩකඩම් තියන කෙනෙක්ව දැක්කම අපි හිතනවා මේ මිනිහනම් ආතල් එකේ ඉන්නවා කියලා. හැබැයි අපි දකින ආතල් එක ඇත්තටම එතන තියනවද? සතුට එහෙම නැත්නම් ආතල් එක නිර්වචනය කරන්න කිව්වොත් නානාප්‍රකාර විදියට එය අර්ථදක්වන්න පුළුවන්. සමහරු කියනවා සතුට කියන්නේ සාර්ථකත්වයේ අවසන් නැවතුම්පොළ කියලා. තව සමහරු කියනවා සල්ලි තියනවනම් එතන සතුට තියනවා කියලා. තවකෙනෙක් කියන්න පුලුවන් බලය තියනවනම් එතන සතුට තියනවා කියලා. එහෙමත් නැත්නම් ආදරය තියන තැන සතුට තියනවා කියන්න පුළුවන්. ඒත් ඇත්තටම සතුට තියෙන්නෙ කොහෙද?

එබ්‍රහම් ලින්කන් විටෙක කියා තිබෙනවා "සතුට තීරණය වෙන්නෙ ඔබේ ආකල්ප හා මානසිකත්වය මත" කියලා. ඒ කතාවේ ඇත්තක් තියනවා. සතුට කියන්නේ එක්තරා විදියක Mind Set එකක්. එය හුදෙක්ම තමා තුල සහ තමාගේ පාලනය යටතේ තියන දෙයක්. දුකේදිත් සතුටුවෙන මිනිස්සු ඉන්නෙ ඒකනේ.

අපි සතුව රැකියාව, මිල මුදල්, ආදරය, යහළුවන්, පවුල මේ හැමදෙයක්ම තියෙනකොට අපි සතුටින් ඉන්නවා. ඒත් මේ කිසිම දෙයක් නැතිකොට අපිට සතුටින් ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න පුළුවන් නම් අන්න ඒක තමයි සැබෑ සතුට. කිසිම ලෞකික දෙයක අවශ්‍යතාවයක් නැතුව සතුටින් ජීවත් වෙන්න පුළුවන්නම් එයට සමකරන්න කිසිම දෙයක් නෑ.  බුදුදහමේ වුනත් කියන්නේ මේ දේම තමයි. ලෞකික ජීවිතේට බැඳෙන්න බැඳෙන්න දුක වැඩියි. ඒවලින් ඈත් වෙන්න ඈත්වෙන්න හිතට දැනෙන නිදහස සහ සතුට වැඩියි. හැබැයි මේ දර්ශණය තේරුම් යනකොට පරක්කු වැඩියි.

ජීවිතේ වෙන අනපේක්ෂිත සිදුවීම් අපිට පාලනය කරන්න බැහැ ඒත් ඒවට ප්‍රතිචාර දක්වන විදිය අපිට පාලනය කරන්න පුළුවන්. ඒ හැම සිදුවීමකටම දෙන වටිනාකම අපිට පාලනය කරන්න පුළුවන්. අද තියනදේ හෙට නැතිවුණත් නැවගිලුනත් බෑන්චූන් වගේ ඉන්න පුළුවන්නම් එතන තමයි සැබෑ සතුට තියෙන්නෙ. හිතේ සතුට නැත්නම් අපිලඟ හතරමහා නිධානය තිබුණත් වැඩක් නෑ.

- දනුක ප්‍රශාන් - 
Danuka Prashan Posted By

1 comment:

  1. ඕනැම දේකෙදි හිනාවෙනවද අඩනවද කියල තීරණය කරන්නේ අපිමයි.. Good one bro!

    ReplyDelete