නිවාඩුව






ලෞකික ජීවිතයක් ගත කරන බොහෝ දෙනෙක් ඉන්නෙ ලොකු විඩාවකින්. ඒකට හේතුව ඒ ජීවිතය තුළ ඔවුන් විසින් සිදුකළ යුතු ඉටුකම් රාශිය සහ ඔවුන් විසින් හදාගත්ත බන්ධන සමූහය  නඩත්තු කරමින් ජීවත් වීමට සිදුවෙන එක. මුලින්ම ඉගෙනගෙන විභාග පාස් වෙන්න ඕන, ඉන්ටර්වීව් ගිහින් රස්සවක් හොයාගන්න ඕන. ඉඩමක් කඩමක් අරගෙන ගෙයක් දොරක් හදාගන්න ඕන. සමාජය තුළ තමන්ගේ ප්‍රතිරූපයට හානි නොවෙන ආකාරයෙන් ජීවත් වෙන්න ඕන. විවාහයක් කරගෙන පවුල් ජීවිතයක් ගත කරන්න ආර්ථික පසුබිමක් හදාගන්න ඕන. විවාහ ජීවිතය තුළ එන ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න ඕන. දරුවන්ට උගන්වන ඔවුන්ව බලාගන්න ඕන. මහළු වියේදි අනාරාධිතව පැමිණෙන ලෙඩදුක් වලට මුහුණ දෙන්න ඕන. අන්තිමේදි මරණය භාරගන්න ඕන. ඔය තියෙන්නෙ සමාජ සම්මතයක් විදියට බහුතරයකගේ ජීවන ගමන් මග. ඔය ගමන් මඟ ඔයාකාරයෙන්ම නැවත ඉපදුන මොහොතේ පටන් යලි ක්‍රියාත්මක වෙනවා. 

නමුත් මේ සියළු දෙයක්ම නඩත්තු කරගෙන යාමේදී ඇතිවෙන්නෙ විඩාවක්. වෙන විකල්පයක් නැතිනිසා ඒකට මුහුණ දෙන්න සිද්ධවෙනවා වෙනවා. ජීවිතයට බැහැලා ඒක තුල හැප්පෙන්න සිද්ධවෙනවා. විඩාවක් දැනෙනකොට හැමෝම කරන්නේ විඩාව සමනය කරගන්න උත්සහ ගන්න එක. ඒකයි දවස් 5ක් වැඩ කරන්නත් දවස් දෙකක් නිවාඩු ගන්නත් කියලා ලෝක සම්මතයක් හැදිලා තියෙන්නෙ. සමහරු ඒ නිවාඩුව ගත කරන්න ට්‍රිප් යනවා, ඇවිදින්න යනවා, කන්න බොන්න යනවා. හැබැයි ඇත්තටම කරන්නෙ නිවාඩු ගැනීමක්ද නැත්නම් ආයේත් දවස් 5ක් වැඩ කරන්න අවශ්‍ය මානසික පසුබිම හදාගැනීමක්ද? බහුතරයක් කරන්නේ ආයේත් වැඩ කරන්න හිත හදාගන්න එක. ආයෙත් දවස් 5ක් ජීවිතේ එක්ක හැප්පෙන්න අවශ්‍ය ශක්තිය ලබාගන්න එක. මේ දුවන දිවිල්ල නතර වෙන්නේ මරණින් පස්සේ. 

මේ ආකාරයේ ජීවිතයක් ගෙවන පුද්ගලයෙක් ජීවිතයේ සදාකාලික විඩාව තේරුම් ගන්නවනම්, ඒ පුද්ගලයා අර දවස් දෙකේ නිවාඩුව සදහටම ගන්නවා. මේ දිවිල්ලෙන් අයින් වෙනවා. ලෝකෝත්තර සුවය සොයාගෙන යනවා. ඒකට තමන්ගේ ආධ්‍යාත්මය වර්ධනය කරගන්න උත්සහ ගන්නවා. නමුත් ඒ යථාර්තය තේරුම් ගන්නේ සුළු පිරිසක්. ඒ තේරුම් ගත් පිරිසෙනුත් ඒය ක්‍රියාවට නංවන්නේ ඉතාමත් සුළු පිරිසක්.

ඇත්තටම අපි වැකේෂන්  කියලා යන්නේ වැකේෂන් එකක්ද?

Danuka Prashan Posted By

No comments:

Post a Comment